Sunday, February 27, 2011

ගණංකාර සම්පත්

බ්ලොග් කෙරුවාවට ඇවිත් එක හුස්මට පෝස්ට් පහක් විතර දැම්මට මොකද, ඊට පස්සෙන් පහු බ්ලොග් එක පැත්තෙ එන්න උනේම නෑ.

කැම්පස් එකේ කොල්ලෝ කීප දෙනෙක් ම හමු වුණු වෙලේ පැසසුම්-ගැරහුම් ඉදිරිපත් කොළා. වැඩියෙන් ඉතින් පැසසුම් තමා තිබ්බෙ.

නංගිගෙ යාලුවන්ගෙ පැසසුම් නං එන්නෙ නංගි මාර්ගයෙන්. ඒ වගේ එක පැසසුමක් අද උදෙත් ආව...

නංගි: අයියෙ මට උලිතයි, නිරූපයි කිවුව ඔයාගෙ බ්ලොග් එක කියෙවුව කියල...
මම: :)
නංගි: උලිත කිවුව 'ඌ ලියන හැටි සිරා... දිගටම ලියන්න කියන්න' කියල...
මම: :D

එහෙම කියල නංගි ගියා... ගිහින් පොඩ්ඩකින් ‍ආයෙ දොර රෙද්දෙන් එබිල මෙහෙම කියනව:

'මේ තමුසේ ඕන දෙයක් ලිවුවට කමක් නෑ... මාව කන්න එහෙම එපා... හරිද?'

මමත් ඉතිං මුකුත් කිවුවෙ නෑ. මගේම නංගි උනත් එයා මට හරියට අබූත චෝදනා කරන්නෙ... දැං බලන්න මං නංගි ගැන කොච්චර ලියල තියෙද මේ ලියපු පෝස්ට් හතර පහේ? ඉතිං ඔයාලම කියවල බලන්නකො මං එයා ගැන එහෙම නරකක් කියල තියෙනවද කියල ඒ පෝස්ට් වල?

බුදුන්ට නමක්
තවත් පොත් කතාවක්
ලාබෙට පොත් ගැනීම

@ලොකු නංගි:
දැක්කනේ... මං කොච්චර අහිංසක සමනලයෙක්ද කියල...




ඔන්න අද මං ලියන්න හදපු එකත් තව ඩිංගෙන් අමතක වෙනව අපේ නංගිගෙ මේ අබූත චෝදනා නිසා... මෙච්චර කල් අනිත් හැමෝගෙම වීරක්‍රියා ගැන කියපු හංද අද කියන්නෙ මගේම මයි කාර් මයි පැට්රල් වීරක්‍රියාවක්...

මේ වැඩේ වෙනකොට මං තුන වසරෙ... මං තමා ඒ දවස්වල පංතියෙ හිටපු අධ්‍යාපනික ඩයල් එක... මං තමා පංතියෙ පලවෙනියා වෙන්නෙ හැමදාම‍... බොරු නෙවි සිරාවටම...

පංතියෙ මං හිටපු පේලියෙ මගේ ළඟම හිටියෙ සාමාන්‍ය කොල්ලෙක්... ඒ කියන්නෙ මං වගේ නෙවි... හෙනම දඟයා... මං ඉතින් උදේ පාන්දර ලස්සනට ඇඳගෙන, කොණ්ඩෙ තෙල් ගාල, පැත්තට පීරල යන්නෙ...(ඉස්කෝලෙ ඇරෙනකලුත් කොණ්ඩෙ ඒ විදියමයි - ෂර්ට් එකේ කුණු පොදක් නෑ)

වැඩත් පිළිවෙලට... දුන්නු ගණනක් වරදින්නෙ, අකුරක් බැරි වෙන්නෙ එහෙමත් දවසක තමයි. හරියට අර හතර වසරෙ(ද මංදා) 'සිරිමත්' කවි පෙළේ ඉන්න ළමයා ‍වගේ...

අර මං කිවුව එකාගෙ වැඩේම මිස් මොකක්හරි වැඩක් දුන්නු ගමන් ජිරාෆ් වගේ මගේ පොතට එබෙන එක... මං දාඩිය මහන්සියෙන් හදන ගණං මූ තප්පර 10න් කොපි කරනවා... අසා ලිවීම! මූ කරන්නෙ මගේ පොතෙන් බලා ලිවීම... නොදෝමකින් විතරක්... මට ඉතිං හොඳටම මල පනිනවා...

ඔන්න එදත් මිස් ගණං වගයක් දුන්නා... අරුත් දාගෙන කොපි කරනවා... මං බැලුවා වැඩේ හරි යන්නෙ නෑ... කරා මගෙ වීරක්‍රියාව...

ගණන් ටික හදල ඉවරවෙලා මිස්ට පෙන්නුවා... ගා‍ණෙන් ගාණ ලකුණු කරන ගමන් මිස් මගේ මූණ දිහා බලනවා... මිස්ගෙ මූණ කවදාවත් නැති විදියට අමුතු වෙලා...

කොහොම උනත් මගේ වීරක්‍රියාවෙන් උපරිම ප්‍රතිපල ලැබුණා... ඊළඟ පීරියඩ් එකේ ඉඳන් අර කොල්ලා ‍මගෙන් කොපි කළේ නෑ...

ඉවසන්න ළමා...යි! ඉවසන්න... මගේ වීරක්‍රියාව මොකද්ද කියල දැනගන්න මං ගෙදර යනකල් ඉන්න වෙනව උයාලට...

හවස අපේ අම්මා (සුපුරුදු පරිදි) මගේ පොත් බලනවා... අර මිස්ගෙ මූණෙ ආපු අමුතු බැල්මම අම්මගෙ මූණටත් එනවා...

'මේ මොකද පුතේ... මේ බලන්නකො ගණන් සේරම වැරදියිනෙ...'

මාත් බැලුවා... වැරදියි නේන්නං... පිටුව පුරාම රතු පාටින් තඩි කතිර දහයක්!

'ආ... ඕකද? අම්ම ගණං ගන්නෙපා අම්මෙ... මගේ එහාපැත්තෙ ඉන්න *** හැමදාම මගෙන් කොපි කරනව... මං අද දුන්න ඌට වැඩක් ආයෙ කොපි නොකරන්නම... හොඳ වැඩේ ඕකට... උගෙත් ගණං දහයම අද වැරදියි'

මිස්ගෙයි අම්මගෙයි මූ‍ණ වෙනස් වෙච්ච විදිය ‍ඔය ළමයින්ට හිතාගන්න පුලුවන්නෙ?

2 comments:

  1. මේ ‍වැඩිය අනන් මනන් ලිව්වොත් මං ඔයාගේ අර නත්තල් පප්පා පින්තූරේ ෆේස්බුක් එකේ දානවා හරිද?

    ReplyDelete
  2. ඒකනේ අපි මෙහෙ කියවන්න බලාගෙන ඉන්නවා. ඔයා ලියන්නෙ කලාතුරකින් නේ.
    @ Hansinee - අනේ හංසියො ඒකත් දාමුකො අපිට බලන්න..:D

    ReplyDelete