Monday, February 28, 2011

මළ ගෙදර මළ කෙළි

ඔන්න අද ලියන්නෙ අපේ ඔෆිස් එකේ ඉන්න එළ කොල්ලෙක්ට වෙච්ච මාර සිද්දයක් ගැන... අපි මූට දසුන් කියමුකො (කියන්න ඕන නැහැනෙ බොරු නමක් කියල)

ඔන්න එක දවසක් අවාසනාවන්ත ලෙස දසුන්ගෙ බැචෙක්ගෙ සීය නැති වෙලා... බැචාගෙ නම රංග කියමුකො... කට්ටියම ආරංචිය ලැබුණු පරක්කුවට මළගෙදර ගියත් මූට මොකක් හරි වැඩක් තිබිලා යන්න බැරි වෙලා... කොහොමිං හරි මූ පස්සෙ තනියම යන්න පිටත් උනාලු!

මළගෙදර තිබිල තියෙන්නෙ ගම්පහ පැත්තෙ ඩොටක... ඔන්න දැං ඉතිං ගම්පහ පැත්තෙ කොල්ලො අවුල් යන්න එපා... මං කිවුවෙ ගෙද‍ර තියෙන්නෙ ගම්පහිනුත් තව ඩොටේ කියල... නැතුව ගම්පහ කියන්නෙ ඩොට කියලා නෙවි...(‍ගම්පහ පැත්තට යන්න නං පොඩ්ඩක්ඉතර අමාරු තමයි)... ඔන්න ඉතිං දසුනා කලින් එහෙ ගියපු උන්ගෙන් මං සළකුණු අහගෙන ගියාලු!

ඔන්න ඉතිං  පාර කියපු එකා කියපු විදියටම මං සළකුණු ඔක්කොම තියනවලු... හංදිය... කඩේ... වංගුව... අතුරු පාර... පංසල... ආහ් මේ තියෙන්නෙ දඩාර සුදු කොඩියක්! කොල්ලා සුදු කොඩිය දැක්ක ගමං ප්‍රීතියෙන් ඉපිළ ගොසින්, සරසල තියෙන පාර දිගේ මළ ගෙදරට ගොඩ උනාලු!

ගියාට දන්න කියන කෙනෙක් පේන්න නැති හංදා ගේට්ටුව ගාව හිටපු පොරකට කිට්ටු උනාලු...

දසුන්: අංකල් මේ අර... අර සීය කෙනෙක් නැති වෙච්ච මළගෙදර නේද?
පොර: ආ.... ඔව්වොව්වොව් පුතා එන්න එන්න... පුතාගෙ යාලුවෙක් නේ?
දසුන්: ඔව් අංකල්


දසුනුත් ඉතිං ඉස්සරහට ආපු ඇන්ටිට (රංගගෙ අම්මා වෙන්නැති... දසුන් හිතුව) ආචාර කරල, ගෙට ගොඩ වෙලා මෘත කලේබරය දිහා සෝචනීය විදියට තත්පර තිහක් ගැණල බලා ඉඳල, ආපහු හැරිල ගිහින් එලියෙ මඩුවෙ වාඩි උනාලු!

අර පොරත් හරිබරි ගැහිල වාඩි උනාලු දසුන් ගාවම...

දසුන්: හාට් ඇටෑක්ලු නේ අංකල්?
පොර: ඒකනෙ පුතා... මේ ඊයෙ උදේ හොඳට හිටපු මනුස්සය... දවල්ට කාල පපුව රිදෙනව කිවුවලු... හොස්පිටල් ගෙනියද්දි ඔක්කොම ඉවරයි
දසුන්: වයස කීයක් විතරද අංකල්?
පොර: හැත්ත දෙකක්නෙ

ඔය විදි‍යට සෑහෙන වෙලා කතාව දාගෙන ඉඳල, රංගවත් බැචාල කවුරුවත් පේන්න නැති හංද දසුන් මෙහෙම ඇහුවලු:

දසුන්: අංකල් කැම්පස් එකේ කවුරුත් ආවෙ නැද්ද මට කලින්?
පොර: මොන කැම්පස් එකේද පුතා?
දසුන්: අපේ කැම්පස් එකේ අංකල්
පොර: ???
දසුන්: මෙහේ අර රංග යන කැම්පස් එකේ කට්ටිය අංකල්
පොර: පුතා මෙහේ පුතාග නම රංග නෙවෙයිනේ

හත්වලාමයි! මූ ගිහින් තියෙන්නෙ වැරදි මළගෙදරට!

දසුනා පත් වෙච්ච සෝචනීය තත්ත්වෙ දැකපු පොර ඌව ෂේප් කරන්න මෙහෙම කිවුවලු ඉතිං:

පොර: පුතා මේ දෙවැටට පොඩ්ඩක් එහායින් තව මළගෙදරක් තියෙනව... මං හිතන්නෙ එහෙ කැම්පස් යන ළමයෙක් ඉන්නව... පුතාට මං හිතන්නෙ ගෙදර වරදින්න ඇති...
දසුන්: සො.. සොරි අංකල්... එ.. එහෙනං මං යන්නං...
පොර: ආනේ පුතා ගණං ගන්නෙපා... ඕව ඔහොම තමයි... ආපු එකේ බිස්කට් එකක් කාල තේකක් බීල යන්න

Sunday, February 27, 2011

ගණංකාර සම්පත්

බ්ලොග් කෙරුවාවට ඇවිත් එක හුස්මට පෝස්ට් පහක් විතර දැම්මට මොකද, ඊට පස්සෙන් පහු බ්ලොග් එක පැත්තෙ එන්න උනේම නෑ.

කැම්පස් එකේ කොල්ලෝ කීප දෙනෙක් ම හමු වුණු වෙලේ පැසසුම්-ගැරහුම් ඉදිරිපත් කොළා. වැඩියෙන් ඉතින් පැසසුම් තමා තිබ්බෙ.

නංගිගෙ යාලුවන්ගෙ පැසසුම් නං එන්නෙ නංගි මාර්ගයෙන්. ඒ වගේ එක පැසසුමක් අද උදෙත් ආව...

නංගි: අයියෙ මට උලිතයි, නිරූපයි කිවුව ඔයාගෙ බ්ලොග් එක කියෙවුව කියල...
මම: :)
නංගි: උලිත කිවුව 'ඌ ලියන හැටි සිරා... දිගටම ලියන්න කියන්න' කියල...
මම: :D

එහෙම කියල නංගි ගියා... ගිහින් පොඩ්ඩකින් ‍ආයෙ දොර රෙද්දෙන් එබිල මෙහෙම කියනව:

'මේ තමුසේ ඕන දෙයක් ලිවුවට කමක් නෑ... මාව කන්න එහෙම එපා... හරිද?'

මමත් ඉතිං මුකුත් කිවුවෙ නෑ. මගේම නංගි උනත් එයා මට හරියට අබූත චෝදනා කරන්නෙ... දැං බලන්න මං නංගි ගැන කොච්චර ලියල තියෙද මේ ලියපු පෝස්ට් හතර පහේ? ඉතිං ඔයාලම කියවල බලන්නකො මං එයා ගැන එහෙම නරකක් කියල තියෙනවද කියල ඒ පෝස්ට් වල?

බුදුන්ට නමක්
තවත් පොත් කතාවක්
ලාබෙට පොත් ගැනීම

@ලොකු නංගි:
දැක්කනේ... මං කොච්චර අහිංසක සමනලයෙක්ද කියල...




ඔන්න අද මං ලියන්න හදපු එකත් තව ඩිංගෙන් අමතක වෙනව අපේ නංගිගෙ මේ අබූත චෝදනා නිසා... මෙච්චර කල් අනිත් හැමෝගෙම වීරක්‍රියා ගැන කියපු හංද අද කියන්නෙ මගේම මයි කාර් මයි පැට්රල් වීරක්‍රියාවක්...

මේ වැඩේ වෙනකොට මං තුන වසරෙ... මං තමා ඒ දවස්වල පංතියෙ හිටපු අධ්‍යාපනික ඩයල් එක... මං තමා පංතියෙ පලවෙනියා වෙන්නෙ හැමදාම‍... බොරු නෙවි සිරාවටම...

පංතියෙ මං හිටපු පේලියෙ මගේ ළඟම හිටියෙ සාමාන්‍ය කොල්ලෙක්... ඒ කියන්නෙ මං වගේ නෙවි... හෙනම දඟයා... මං ඉතින් උදේ පාන්දර ලස්සනට ඇඳගෙන, කොණ්ඩෙ තෙල් ගාල, පැත්තට පීරල යන්නෙ...(ඉස්කෝලෙ ඇරෙනකලුත් කොණ්ඩෙ ඒ විදියමයි - ෂර්ට් එකේ කුණු පොදක් නෑ)

වැඩත් පිළිවෙලට... දුන්නු ගණනක් වරදින්නෙ, අකුරක් බැරි වෙන්නෙ එහෙමත් දවසක තමයි. හරියට අර හතර වසරෙ(ද මංදා) 'සිරිමත්' කවි පෙළේ ඉන්න ළමයා ‍වගේ...

අර මං කිවුව එකාගෙ වැඩේම මිස් මොකක්හරි වැඩක් දුන්නු ගමන් ජිරාෆ් වගේ මගේ පොතට එබෙන එක... මං දාඩිය මහන්සියෙන් හදන ගණං මූ තප්පර 10න් කොපි කරනවා... අසා ලිවීම! මූ කරන්නෙ මගේ පොතෙන් බලා ලිවීම... නොදෝමකින් විතරක්... මට ඉතිං හොඳටම මල පනිනවා...

ඔන්න එදත් මිස් ගණං වගයක් දුන්නා... අරුත් දාගෙන කොපි කරනවා... මං බැලුවා වැඩේ හරි යන්නෙ නෑ... කරා මගෙ වීරක්‍රියාව...

ගණන් ටික හදල ඉවරවෙලා මිස්ට පෙන්නුවා... ගා‍ණෙන් ගාණ ලකුණු කරන ගමන් මිස් මගේ මූණ දිහා බලනවා... මිස්ගෙ මූණ කවදාවත් නැති විදියට අමුතු වෙලා...

කොහොම උනත් මගේ වීරක්‍රියාවෙන් උපරිම ප්‍රතිපල ලැබුණා... ඊළඟ පීරියඩ් එකේ ඉඳන් අර කොල්ලා ‍මගෙන් කොපි කළේ නෑ...

ඉවසන්න ළමා...යි! ඉවසන්න... මගේ වීරක්‍රියාව මොකද්ද කියල දැනගන්න මං ගෙදර යනකල් ඉන්න වෙනව උයාලට...

හවස අපේ අම්මා (සුපුරුදු පරිදි) මගේ පොත් බලනවා... අර මිස්ගෙ මූණෙ ආපු අමුතු බැල්මම අම්මගෙ මූණටත් එනවා...

'මේ මොකද පුතේ... මේ බලන්නකො ගණන් සේරම වැරදියිනෙ...'

මාත් බැලුවා... වැරදියි නේන්නං... පිටුව පුරාම රතු පාටින් තඩි කතිර දහයක්!

'ආ... ඕකද? අම්ම ගණං ගන්නෙපා අම්මෙ... මගේ එහාපැත්තෙ ඉන්න *** හැමදාම මගෙන් කොපි කරනව... මං අද දුන්න ඌට වැඩක් ආයෙ කොපි නොකරන්නම... හොඳ වැඩේ ඕකට... උගෙත් ගණං දහයම අද වැරදියි'

මිස්ගෙයි අම්මගෙයි මූ‍ණ වෙනස් වෙච්ච විදිය ‍ඔය ළමයින්ට හිතාගන්න පුලුවන්නෙ?

Sunday, February 6, 2011

බුදුන්ට නමක්

දවසක් මං ගෙදර යද්දි ලොකු නංගියි චූටි නංගියි බර වලියක. ලොකු නංගී චූටි නංගි සතු කිසි යම් අනර්ග වස්තුවක් බලෙන් අත් පත් කරගෙන....

අම්මව මැද තියාගෙන දෙන්නා නඩුව කියනවා... චූටි නංගි කියන කියන එකට ලොකු නංගි අනිත් අතට නිදහසට කාරණාවක් කියනවා...

අන්තිමේ චූටි නංගිට මල පැන්නා. “ඔව් ඉතින් තමුසෙට පුළුවන් හැම එකටම හේතු කියන්න විතරනේ... හේතුවතී... හේතුවතී”, චූටි නංගි කිවුවා. එතකොට ලොක්කි කියනවා:

“ඔව් ඉතිං හැමදේටම හේතුවක් තියෙනවා තමයි. බුදුහාමුදු‍රුවොත් කිව්වෙ ඒකනේ. ඒ උනාට හේතුළුල ධර්මය දේශනා කලා කියලා තමුසේ බුදු හාමුදුරුවන්ට හේතුපාල කියනවද?”.

තවත් පොත් කතාවක්


අපේ ලොකු නංගි ගැන මං කිවුවනේ ලාබෙට පොත් ගන්න හැටි ගැන කියද්දි...

එයා ප්‍රයිවෙට් පුස්තකාලයකුත් කරනවා... දැං ඒකෙ පොත් කවුන්ට් එක පනස් නමයයි... ලඟදි ඉඳන් මට නොකියා කියනවා හැට වෙනි (දියමන්ති ජුබිලි) පොත පරිත්‍යාග කිරීමේ ගෞරවය හිමි කර ගන්න කියලා... (අපි අහුවෙයි ඕවට...)

පහුගිය කාලෙ මට මේ වගේ කතා නිතරම අහන්න ලැබුණා....

නංගි: අයියෙ Chronicles of Narnia පොත හරි ලස්සනයිලු නේ...?'
මං: හ්ම්...!

(දින කිහිපයකට පසු)
නංගි: 'අයියෙ... **සවියෙ තියෙනවා Chronicles of Narnia.. මං ගියා... චුට්ටක් කියෙවුවා... (පොතේ තිබූ රසවත් කොටසක් මට විස්තර කරයි)'
මං: හ්ම්...!

(පැය කිහිපයකට පසු)
නංගි: 'කොච්චර ලස්සන උනත් මොනව කරන්නද? ඒ පොත එක්දාස් හයසීයක්... ශිහ්...'
මං: හ්ම්...!

(විනාඩි කිහිපයකට පසු)
නංගි: 'මටත් රස්සාවක් තිබ්බනං... ඉන්නකො... මං ලොකු වෙලා රස්සාවක් කරලා පොත් ගොඩාරියක් ගන්නවා'
මං: (සිතින්) ලොකු වෙලා තමයි.. මේකිට දැං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස...

හැබැයි ඉතිං පිරිමි ජාතියෙ හැටි කියන්නෙ, තම එක කුස උපන් නංගි උනත් මායමක් දැම්මොත් අහු වෙනවා... මගෙත් ඉතිං හුර්දය වස්තුව උණු උනා... බැංකුවෙන් සල්ලිත් අරං මං ගියා පොත් ගන්න...

ඔන්න ඔහොමලු උනේ...

ප.ලි.:
හැබැයි මගේ වයර් මාරු වෙලා පොත තිබුණා කිවුව **සවි එකට නොගිහින් මං ගියේ **සේන එකට... ඒකෙ පොත තිබ්බෙ නෑ... ඒ වෙනුවට මං ගත්තා අලිසන්දෙර් දූමාගෙ (Alexander Dumas) 'ල කොම්තෙ දෙ මොන්ත ක්‍රිස්තෝ' (Le Comte de Monte-Cristo) හි ඉංග්‍රීසි පරිවර්තනය... The Count of Monte-Cristo.



අතුරු කථාව

පොත් ඇරෙන්න ලොකු නංගිට තවත් පිස්සුවක් තියෙනව... ඒ තමයි හින්දි සින්දු... එයාගෙ වැඩේම කොහෙන් හරි සින්දු තොගයක් උස්සන් ඇවිල්ල ඒව අහන එක...

හොඳ සින්දුවක් හිතට වැදුනම ඒක උදේ හිටන් රෑ වන තුරු, රෑ ගෙවිලා එලි වෙන තුරු, (අපේ) දෙසවන් කුණු වෙන තුරු කියන එක තමයි එයාගෙ වැඩේ... (නංගිට සාමාන්‍යයෙන් ලස්සනට සින්දු කියන්න පුලුවන්... ඒත් ඉතින් පංචසික ඇවිත් කිවුවත් දවස පුරා එකම සින්දුව ඇහෙනකොට දිව්‍ය ගීතිකා උනත් පිරිත් වෙනවනේ...)

හැබැයි මෙයාට පොතක් අහු උනොත් නං දවසක් විතර කට වහලා තියාගත්න පුලුවන්... මෙයාට මං පොත් ගෙනත් දෙන්න ඒකත් හේතු උනා...

මෙන්න මේක තමයි The Count of Monte-Cristo පොතේ මං ලියපු පිලිගැන්වුම:

'මගේ කර්‍ණ ප්‍රීතියත්
ලොකු නංගිගේ චිත්ත ප්‍රීතියත්
වෙනුවෙනි...
- සම්පත්'

ප.ලි.:
මෙන්න ඒ ගැන ලොකු නංගි දාපු Facebook Status එක...

ලාබෙට පොත් ගැනීම


අපේ පවුලෙ ලමයි හතර දෙනයි...

වැඩිමලා මං (චික් විතරක්)...

ඊලඟට ලොකු නංගි... මට වඩා අවුරුද්දයි බාල... අපි දෙන්න ඉන්නෙ නිකං මචං ලෙවල් එකේ තමයි...

ඊලඟට මල්ලි... මට වඩා අවුරුදු හතහමාරක් බාලයි... ඊලඟ අවුරුද්දෙ A/L ලියනවා...

අන්තිමට චූටි නංගි... ගෙදර හුරතලා.... මට වඩා අවුරුදු නවයහමාරක් බාලයි... දැං O/L කරලා ගෙදර...

නංගිලා දෙන්න පොත් මරුවො... වැඩිපුරම ලොකු නංගි තමයි... එයාගෙ වැඩේ සල්ලි කීයක් හරි අතට හම්බඋනු ගමන් බුක්ෂොප් ගානෙ දුවන එක තමයි...

ඕං එක දවසක් අපේ නංගිලා ඩබල ගොහිං පොත් මිලදී ගන්න... ලොකු නංගි ඉතින් හෝ ගාල පොත් තෝරනවලු... චූටි නංගිත් පස්සෙන්.... එදා ගිහින් තියෙන්නෙ ඉංග්‍රීසි පොතක් ගන්න හිතං....

චූටි නංගිට හෙන ප්‍රස්නෙලු සමහර පොත් වල රුපියල් වලින් මිල දෙකක් ගහල තියෙන එක....
ඔන්න ඔය වගේලු... (මං හිතෙන ගනං දැම්මෙ.. හරිය... )

ඉතිං ලොකු නංගි පැහැදිලි කරල දුන්නලු මේ පොත් ගොඩක් එන්නෙ ඉන්දියාවෙංය, පොඩි රුපියල් ගාන ඉන්දියාවෙ ගානය, ලොකු රුපියල් ගාන ලංකාවෙ ගානය කියල...

කොහොම හරි අතේ තියෙන තුට්ටු දෙකෙන් ගන්න පුලුවන් හොඳම ලොකුම නවල් එක අරගෙන දෙන්නා එලියට එනකොට...

චූටි නංගි: ශිහ්! අපරාදෙ නේ සල්ලි....
ලොකු නංගි: ඇයි මොකෝ...?
චූටි නංගි: නෑ ඉතිං ඉන්දියාවෙ ගිහිං කෙලින්ම පොත් ගත්තනං කීයක් ඉතුරුද මං අහන්නෙ...?

'වතුසුද්ද' ද? 'වටසුද්ද' ද?

අපිට වගේ නෙවි... ගමේ ගොඩේ හැදිච්චි උදවියට ඔය බේත් අවුසද, කැලේ කොලේ හැදෙන පැලෑටි ගැන හෙම තියෙන්නෙ මා...ර අවබෝදයක්... අපේ තාත්තත් ඉතිං ඔය ජාතියෙ එක්කෙනෙක් තමයි.

නිදහස් දවසෙ ගියා කුමාරි අක්කලෑ දිහා... (කුමාරි අක්කා අපේ ලොකු අම්මගෙ දෙවැනි දූ...) කුමාරි අකකගෙ දෝණිගෙ උපන් දිනේ සමරන්න තමා අපි එහේ ගියේ...

කාලා, බීලා, අයිස්ක්‍රීමුත් කාලා අහවර වෙලා අපි දැන් සතුටු සාමීචිය... සාකච්චාව විවිධ මාතෘකා ඔස්සේ ගලා යනවා...
  1. රටේ දේසපාලන තත්වය (වැඩන්නෑ අප්පා...)
  2. ඇන්ඩ් කොම්පැණි (අරයගෙ මූණ අරයා වගේමයි අනී...)
  3. දෝණි ඉගෙනීමට දක්වන කම්මැලිකම (කුමාරි අක්කා දෝණිට මාත් නංගිත් පෙන්නා මෙසේ කියයි: මෙ බලන්න නැනදයි මාමයි... ඒගොල්ලො නම් ඒ කාලේ blah blah blah...., එයාලව බලාගෙන ඔයත් හැදෙන්නකෝ)
  4. ඔහොම ගිහිං ගිහිං...
  5. ෆෙන්ග් ෂුයි (මම සිතින්: @#%#%@$#)...
කොහොමිං කොහොමිං හරි ඔන්න කතාව ගෙවල්වල හිටවන්න හොඳ නැති ගස් ගැන...

'වතුසුද්ද නං කවදාවත් ගෙදරක හිටවන්න හොඳ නෑ' තාත්තා කියනවා...

'ඇත්තද අනී... අර පුංචි සුදුපාට පෙති පහේ මල්?' නංගි අහනවා...

'නෑ නෑ... ඒ වටසුද්ද වතුසුද්ද කියල අපි කියන්නෙ මිනීමල් වලට' තාත්තා කියනවා....

කොහොම හරි වතුසුද්ද-වටසුද්ද විවාදය දිගටම යනවා....

අන්තිමේ බැරිම තැන මායි නංගියි මේ කාරනේ කෙටියෙන් පැහැදිලිව කියන්න පුලුවන් ක්‍රමයක් හොයා ගත්තා.... මෙන්න:

'වතුසුද්ද කියන්නෙ වතුසුද්ද නොවේ... වතුසුද්ද කියන්නෙ මිනීමල්... වටසුද්ද වතුසුද්ද උනාට මිනීමල් නොවේ... හැබැයි වතුසුද්ද වටසුද්ද නොවේ... ඒ නිසා හැමෝම වටසුද්ද ගහක් ගෙදර වවාගන්න'

හා....යි! ලමා....යි! ඕං මාත් ආවා බ්ලොග් කෙරුවාවට

හා....යි! ලමා....යි!

ඕං මාත් ආවා බ්ලොග් කෙරුවාවට... මගේ බලාපොරොත්තුව කාටවත් කරදරයක්, හිරිහැරයක්, අවහිරයක්, නොවී... මට, මගේ පවුලේ කට්ටියට, මගේ යාලුවන්ට වෙච්චි රසවත් සිද්දියක් දෙකක් කොටල දාන එක තමා...

හැබැයි එහෙම කිවුවට ඉතිං පටං ගන්නෙම අපේ එකෙක්ට මඩක් ගහලා තමයි...

මං හිතං හිටියේ මගේ යාලුවො, පවුලෙ කස්ටික එක එක්කෙනා අඳුන්නලා දෙන ගමන් ඒ ගොල්ලන්ට වෙච්චි සිද්දි දානව කියල.... ඒත් ඔන්න හා හා පුරා කියල අඳුන්නලා දෙන්නෙ මං වත් හීනෙන්වත් හිතපු නැති එකෙක්ව...

ලමා....යි! අඳුනාගන්න... අපගේ කැම්පසයේ ඉතා..මත්ම කැපී පෙනෙන චරිතයක්... පිලිගන්න... අපේ ආදර ***...

දැං ඉතිං හොඳ ලමයි වගේ ඔය පින්තූරෙ ක්ලික් කරලා බලන්න වෙලා තියෙන සංගෙදිය...


මෙන්න ඔය පින්තූරේ ගත්තු තැනට ලින්ක් එක.....

වැඩේ තේරෙන්නෙ නැති කට්ටියට: බලමු UCSC කට්ටිය දාන comments වලින් වැඩේ තේරෙයිද කියලා... (අනේ comments දාන්න හොඳේ...)